web site hit counter

මධුෂ් අරන් පැය 4ක් උඩුගුවනේ ආපු ගමන – රහස් පොලිසියයි, STF එකයි දෙපැත්තේ – “සීට් එක බිස්නස් ක්ලාස්”

4 Likes Comment

රහස් පොලිස් පරීක්ෂකයන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියහ. ඒ ඉතා රහසිගත මෙහෙයුමක් සිදුකිරීම සඳහාය.

මෙම සුවිශේෂී කණ්ඩායම නැවත මවු රට බලා පැමිණියේ හිස් අතින් නොවේය. ඔවුහු පැමිණියේ මෙරට බිහිසුණු අපරාධ රැසකට නායකත්වය ලබාදුන් පාතාලයේ ගෝඩ් ෆාදර්ව රැගෙනය. ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් මෙරටට එයිද නොඑයිද යන ප්‍රශ්නාර්ථයක් මෙරට සමාජයට තිබිණි.

නමුත් හිටිහැටියේම මෙම කුප්‍රකට පාතාල නායකයා මෙරටට පැමිණියේ කෙසේ දැයි යන්නද ප්‍රශ්නාර්ථයක් අප සමාජයට ඇත. මෙම කතාන්දරය වටා ගොඩනැඟෙන්නේ මාකඳුරේ මධුෂ් නමැති අති බිහිසුණු පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සිට නිරුපද්‍රිතව මෙරටට රැගෙන ඒමේ රහස් පොලිස් මෙහෙයුමය.

මධුෂ්ව මෙරටට රැගෙන ඒමට දින පහකට ප්‍රථමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය බලා පිටත් වූහ. පොලිස් විමර්ශනයන්ට අති දක්ෂ රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කිසිදු අවියක්, ආයුධයක් නොමැතිව ඕනෑම අයකු මෙල්ල කර ගැනීම සඳහා විශේෂිත පුහුණුවක් ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකු මෙහෙයුම සඳහා පිටත් වූවන් අතර විය.

මෙම කණ්ඩායම එරට බලා ගියේ මාකඳුරේ මධුෂ් තමාව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසට අභියාචනා පෙත්සමක් එරට අධිකරණයක් වෙත ගොනු කර තිබූ අවස්ථාවකය. දිනය ඉකුත් 4 වැනිදාය. මධුෂ්ව එරටින් පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය ඒ වනවිටත් තීරණය කර අවසන්ය. රහස් පොලිස් පරීක්ෂකයෝ ඊට අදාළ නෛතික කටයුතු සිදුකර ඉතා රහසිගතව මධුෂ් අපේක්ෂාවෙන් ඩුබායි ගුවන් තොටුපොළට වී සිටියහ. දෙරට අතර ඇති වූ එකඟතාවන්වලට අදාළව මාකඳුරේ මධුෂ් එරට සිරභාරයෙන් එදින නිදහස් කරනු ලැබීය.

ඩුබායි ආරක්ෂක අංශ බලධාරීහු මධුෂ්ව රැගෙන ඩුබායි ගුවන්තොටුපොළ වෙත පැමිණ ඔහුව මුදා හැරියහ. දැන් ඇත්තේ රහස් පොලිස් පරීක්ෂකයන්ගේ මෙහෙයුමය. ඩුබායි බුද්ධි අංශ සමඟ සම්බන්ධ වෙමින් සිටි මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මධුෂ්ව සිය භාරයට ගත්තේය. ඒ ඩුබායි ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය අසලදීය.

මධුෂ්ට මාංචු දැමීය. දැන් ඔහු ඇත්තේ රහස් පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේය. ඩුබායි රාජ්‍යයේ සිදුවන සෑම සිද්ධියක්ම රහස් පොලිස් නිලධාරීන් දෙදෙනා කොළඹ පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය දැනුවත් කළේය.

රහස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබුණේ එදින ඩුබායි වෙලාවෙන් රාත්‍රි 10.50ට එරටින් පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 226 දරන ගුවන් යානයෙන් මධුෂ්ව රැගෙන එන ලෙසටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය හරහා ඊට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කෙරිණි. ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ (Busses Class) ආසනයක් මධුෂ් වෙනුවෙන් වෙන් කරවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඒ ව්‍යාපාරික පන්තියේ අඩු මගීන් පිරිසක් ගමන් ගන්නා නිසාය. මධුෂ්ට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් සිවුදෙනාටද මධුෂ් අසලම ආසන වෙන්කරවා ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කෙරිණි.

ගුවන් යානයේ ආසන වෙන් කරවා ගැනීමේදී පවා රහස් පොලිස් නිලධාරීහු වඩා සැලකිලිමත් වූයේ මධුෂ් නමැති නමගිය පාතාල නායකයා තඹ සතේකට විශ්වාස නැති නිසාය. පැය හතරකට අධික කාලයක් ගුවන් මගීන් සමඟ උඩු ගුවනේ සිටිය යුතු බව රහස් පොලිස් නිලධාරීහු දන්නා නිසා මධුෂ්ට සෙලවීමටවත් නොහැකි සේ ආරක්‍ෂක විධිවිධාන මෙලෙස ගනු ලැබූහ.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මධුෂ්ගේ සියලු ආගමන විගමන ලියකියවිලි කටයුතු අවසන් කරගත් රහස් පොලිස් නිලධාරීහු ගුවන්තොටුපොළ මගී පර්යන්තයට ඔහුව රැගෙන පැමිණියහ.
UL 226 ගුවන් යානයද ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි. බිහිසුණු පාතාල නායකයාද කැටුව රහස් පොලිස් පරීක්‍ෂකයන් යානයට ගොඩවිය.

ඔවුනට පනවා තිබූ ව්‍යාපාරික පන්තියේ අසුන්වල ඔවුහු පිළිවෙළින් අසුන් ගත්හ. අසුන් පනවා තිබුණේද මධුෂ් වටා ආරක්‍ෂකයන් සිවුදෙනා පිරිවරාගෙනය. මධුෂ්ට හීන් දහදිය දැමුවේ රහස් පරීක්‍ෂකයන්ගේ සහායට එයාර් මාර්ෂල්වරුන් සිවුදෙනකුද ව්‍යාපාරික පන්තියේ ඔහු අසලම අසුන්ගෙන සිටි නිසාය. පෙර කළ දැනුම්දීමකට අනුව මෙම අපරාධකරු රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්ද ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් සිවුදෙනකු මෙලෙස සපයා තිබිණි.

එයාර් මාර්ෂල්වරුන් ලෙස හැඳින්වෙන් එම ආරක්‍ෂකයන් හට විශේෂ පුහුණුවක් ලබාදී ඇත්තේ කිසිදු අවියක් නොමැතිව කලහකාරී ලෙස හැසිරෙන ගුවන් මගීන් මෙල්ල කිරීමටය. මාකඳුරේ මධුෂ් නමැති බිහිසුණු පාතාල නායකයා ගුවන් යානයේ සිටින බවට කිසිදු ගුවන් මගියකු දන්නේ නැත. කොටින්ම ව්‍යාපාරික පන්තියේ අසුන් ගෙන සිටින මගියකු හෝ මේ රැගෙන යන්නේ මධුෂ් බව නොදනී. ආරක්‍ෂක අංශ නිලධාරීන්ද ගුවන් මගීන්ට සැක මතු නොවන ලෙස මධුෂ් සමඟ ආසන පේළිවල අසුන් ගෙනය.

එහෙත් මේ රැගෙන යන්නේ පාතල නායක මාකඳුරේ මධුෂ් බව රහස් පරීක්‍ෂකයන් විසින් ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබිණි. පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට විදේශිකයන් පැමිණීම අඩු නිසා UL 226 ගුවන් යානයද මගීන්ගෙන් පිරී ගොස් නැත. හිස කෙස් කොටට කපා රතු පැහැති කමිසයක් ඇඳ සිටි මධුෂ්ද නිහඬව අසුන් ගෙනය. මෙම ඇඳුමෙන් මධුෂ් මීට පෙර සැරසී සිටියේ සිය දියණියගේ සයවැනි උපන්දිනයදාය.

එරට වේලාවෙන් රාත්‍රි 10.50ට මධුෂ් රැගත් ගුවන් යානය ඩුබායි අහසට නැඟුණේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ගුවන් යානය එරටින් පිටත් වූයේ මධ්‍යම රාත්‍රි 12.20ටය. කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව ඇත්තේ මැයි 05 වැනි දින අලුයම 4.45ටය. මධුෂ් වටකරගෙන සිටි ආරක්‍ෂකයෝ නිදිවර්ජිතව මධ්‍යම රාත්‍රියේ ගුවනට පිවිසුණහ. සියල්ලෝ දැඩි විපරමෙනි. මධුෂ්ද වටපිට බලමින් සිටී. නමුත් ඔහු නිහඬය. ආරක්‍ෂකයන් අසන දේට පමණක් ඔහු කෙටි පිළිතුරු ලබා දෙයි.

රහස් පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ සිටින සටන් ක්‍රම ප්‍රගුණ කොට ඇති නිලධාරීන් දෙදෙනා අයත් වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායටය. එම බළකායේ සටන්වලටම සකස් කර ඇති විශේෂ අවි සහ උපක්‍රම කණ්ඩායමේ සාමාජිකයන් වන ඔවුන් අතේද කිසිදු ආයුධයක් නොවීය. ඕනෑම අයකු ආයුධ නොමැතිව මෙල්ල කර ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලද ඔවුන්ද මධුෂ්ගේ සියලු හැසිරීම් නිරීක්‍ෂණය කරමිනි. එයාර් මාර්ෂල්වරුන්ද මේ සියල්ල ගැනම දැඩි විපරමෙනි.

ගුවන් යානයට මධුෂ්ව නංවා ගත්තේද මංචු ඉවත් කරය. අත් මාංචු දමා මධුෂ්ව යානයට නංවා ගත්තේ නම් එක් මගියකු හෝ බියවී ගුවන් ගමනට බාධා කළේ නම් ප්‍රධාන ගුවන් නියමුවාට සිදු වන්නේ එම ගුවන් ගමන නවතා දැමීමටය. කුමන හෝ දෙයකට බිය වී එක් මගියකු හෝ ගුවන් ගමනට විරුද්ධ වුවහොත් එම ගුවන් ගමන ආරම්භ කළ නොහැකිය. ඒ ගුවන් ගමන් සම්ප්‍රදායයි. ගුවන් ගමන ආරම්භ කර පැයකට ආසන්න කාලයක් ගතවිය. ගුවන් කාර්යය මණ්ඩලය දැන් ලෑස්ති වෙන්නේ මගීන්ට ආහාරපාන ලබා දීමටය.

සාමාන්‍ය පන්තියට වඩා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතේ මිල වැඩි වන්නේ එහි ඇති වැඩි වරප්‍රසාද නිසාය. සුඛෝපභෝගී ආසන, ප්‍රණීත ආහාර, ඉස්තරම් මත්පැන් ආදිය ව්‍යාපාරික පන්තියේ මගියකුට හිමිවේ. විශේෂ ආරක්ෂාවක් යටතේ මධුෂ්ට මත්පැන් හැර අනෙක් සියලු ආහාර ලබා ගැනීමට බාධාවක් නොවූයේය. ව්‍යාපාරික පන්තියේ මගීන්ට ආහාර අනුභව කිරීම සඳහා ලබාදෙන හැඳි ගෑරුප්පු ලෝහ මිශ්‍රිිතය.

එහෙත් රහස් පරීක්ෂකයන්ගේ ඉල්ලීම මත මධුෂ්ට ගුවන් කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ ප්ලාස්ටික් හැඳි ගෑරුප්පුය. එලෙස රහස් පරීක්ෂකයන් ක්‍රියා කළේ මධුෂ්ට ලෝහ මිශ්‍රිත හැඳි ගෑරුප්පු ලබාදීම ආරක්ෂාවට තර්ජනයක් නිසාය. ආහාර ගෙන අවසානයේ ගුවන් යානයේ බොහෝ දෙනකු සුවසේ නින්දේය. නමුත් මධුෂ් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අවදියෙනි. ගුවන් යානයේ පැමිණීම අපේක්ෂාවෙන් රහස් පොලිසියේ තවත් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේය.

උඹ් 226 ගුවන් යානය මෙරට ගුවන් කලාපයට ළඟා විය. ‘ආයුබෝවන්, දැන් වෙලාව අලුයම 4.30යි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ පියාසර කළ ඔබට ස්තුතියි.’ යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සීමට පෙර ගුවන් නියමුවා සියලු මගීන් දැනුවත් කෙරිණි.

ආරක්ෂක අංශ වහා ලෑස්ති විය. ඒ ඊළඟ මෙහෙයුම සඳහාය. තමාට සිදුවන්නේ කුමක් දැයි යන විමතියෙන් යුතුව මධුෂ් වටපිට බැලිණි. මෙරට බිහි වූ බිහිසුණුම අපරාධකරු මධුෂ් වුවද ඔහුගේ මුහුණේ වූයේ දැඩි බියකි. අලුයම 4.45ට ගොඩබෑමට නියමිතව තිබුණද විනාඩි දහයක පමණ කාලයක් එම ගොඩබෑම ප්‍රමාද විය. අලුයම 4.55ට යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සනු ලැබීය.

නමුත් එහි ගුවන් නියමුවා ගුවන් යානය මගී පර්යන්තය අසලට රැගෙන නොයා ගුවන් තොටුපොළ වෙනත් භූමියක නතර කරනු ලැබීය. ගුවන් නියමුවා එලෙස කරන ලැබුවේ ආරක්ෂක අංශවල උපදෙස් අනුවය. වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිටි සෙසු රහස් පොලිස් කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි සහ උපක්‍රම කණ්ඩායම සමඟ වෑන් රථයකද නැඟී ගුවන් යානය අසලට ළඟා විය.

ගුවන් යානයෙන් ප්‍රථමව පිටත් කර හරින්නේ ව්‍යාපාරික පන්තියේ මගීන්ය. ඒ අතරෙන් මුලින්ම යානයෙන් පිටත් කර හැරියේ මධුෂ්වය. ගුවන් යානයට පඩි පෙළක් සවි කර ඉන් බැස ගත් මධුෂ්ව සෙසු කණ්ඩායම වෑන් රථයට නංවා ගත්තේ අත් මාංචු ද දමාය. රහස් පොලිස් කණ්ඩායම විසින් විශේෂිත ආරක්ෂාවක් යටතේ මධුෂ්ව රැගෙන ගියේ ප්‍රධාන ආගමන විගමන නිලධාරි කාර්යාලයටය.

සෙසු ගුවන් මගීන් ආගමන විගමන කටයුතු සිදුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් යන්නේ පැමිණීමේ පර්යන්තය හරහා ආගමන විගමන කවුන්ටරය අසලටය. නමුත් මෙය විශේෂ තත්ත්වයක් නිසා රහස් පොලිස් නිලධාරීන් මධුෂ්ව ප්‍රධාන ආගමන විගමන කාර්යාලයට රැගෙන යෑමට පියවර ගත්හ. එහිදී මධුෂ්ගේ ගුවන් ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී.
V 5480656 දරන එම ගුවන් ගමන් බලපත්‍රයෙහි සඳහන් වූ නම වූයේ වර්ණකුලසූරිය අජිත් එරංග යන නමය. එහි පදිංචිය ලෙස දක්වා තිබුණේ ගම්පහ ප්‍රදේශයය. එම ව්‍යාජ ගුවන් බලපත්‍රයේ උපන් දිනය සඳහන් කර තිබුණේ 1979 පෙබරවාරි 20 වැනි දිනය. 790516478ම දරන ජාතික හැඳුනුම්පත හරහා එම ගුවන් බලපත්‍රය මධුෂ්ට නිකුත් කර තිබුණේ 2015 වසරේ අප්‍රේල් මස 30 වැනි දිනය. ආගමන විගමන කටයුතු සිදුකර ගැනීම සඳහා මධුෂ්ට විනාඩි 45ක පමණ කාලයක් එම කාර්යාලයේ රැඳී සිටීමට සිදු විය.

ගුවන්තොටුපොළ කටයුතු සිදුකර අවසානයේදී වෑන් රථයක නංවා ගත් මධුෂ් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි සහ උපක්‍රම කණ්ඩායමේ ආරක්ෂාව මැද පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආහ.

රටක් හෙල්ලූ මාකඳුරේ මධුෂ් මේ වනවිට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධි ආරක්ෂිත සිරකුටියක් තුළය.

මෙම සුවිශේෂී මෙහෙයුම සිදුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන අයගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් මත මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි, සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරි කණ්ඩායමය.

ඔවුන්ගේ විමර්ශනය ආරක්ෂාකාරීව සිදුකිරීම සඳහා සහාය ලබාදුන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාධිනායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු නිලධාරීන්ය.

2006 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රි ඩැනී හිත්තැටිය ඝාතනයෙන් කරළියට පැමිණි මාකඳුරේ මධුෂ්ට මේ වනවිට අපරාධ චෝදනාවන් පනහකට අධික සංඛ්‍යාවක් ඇත.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය, 2017 වසරේ පෙබරවාරි 27 වැනි දින කළුතර එතනමඬල ප්‍රදේශයේදී පාතාල නායක රණාලේ සමයං ඇතුළු හත්දෙනකු බන්ධනාගාර බස් රථයක් තුළදී ඝාතනය කිරීම, එම වසරේම මැයි මස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම, පන්නිපිටිය, ඇරව්වලදී සිදුවූ කෝටි 700 දියමන්ති සහ මැණික් කොල්ලය ඇතුළු ප්‍රධාන චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මධුෂ්ගෙන් මේ වනවිට රහස් පොලිස් නිලධාරීහු ප්‍රශ්න කරති.

දැනට මිනීමැරුම් විමර්ශන අංශයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් නමැති කුප්‍රකට පතාල නායකයාගේ දේශපාලන සබඳතා, මෙරට සිදුවූ අබිරහස් ඝාතන, මහ පරිමාණ හෙරොයින් ජාවාරමේ තතු ඉදිරියේදී හෙළිදරව් කර ගැනීම රහස් පරීක්ෂකයන්ගේ ඊළඟ අභියෝගයයි.

 

චාමර අමරසූරිය

ඉරිදා මව්බිමෙන්
2019-05-12

You might like