web site hit counter

ලංකාව කියන්නේ බෞද්ධ රටක්

48 Likes Comment

නලින් පෙරේරා යනු කතෝලික බැතිමතෙකි. නමුත් ඔහුට කිසිදවසක ජාතිභේදයක් නොතිබුණි. සංගීත කලාව තුලින් රටක් සනසන ඔහු පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දරන්නේ වෙනස්ම මතකයකි.

මේ කාරණාව සඳහා ඔහු චෝදනා කරන්නේ කාටද? කලාකරුවෙකු තමන්ගේ යුතුකම් රටවෙනුවෙන් යමක් කිරීමටය. ඒ මොනවාදැයි අපි නලීන් පෙරේරාගෙන් ඇසුවෙමු. ඔහු දීර්ඝ පිළිතුරක් දුන්නේය. එහි සෑම ජාතියකටම, සෑම ආගමකටම සිතන්නට බොහෝ දේ ගැබ් විය. එනිසා ඒ පිළිතුර එලෙසින්ම මෙසේ සටහන් කරන්නෙමු.

මම කොළඹ එන්නේ කටුවාපිටිය පල්ලිය පාරෙන්, ඒ එද්දි මාව දැකලා ‘නලීන් අයියා’ කියලා අතවනලා කෑ ගහපු අය අද මට පෙනෙන්න නැහැ
මම කලාකරුවෙක්. මාව මෙතැනට ඔසවා තබන්නට ජාති ආගම් භේදයක් නැතිව මට අත්පුඩි ගහල තියෙනවා. මම කොළඹ එන්නේ කටුවාපිටිය පල්ලිය පාරෙන්. ඒ එද්දි මාව දැකලා ‘නලීන් අයියා’ කියලා අතවනලා කෑ ගහපු අය අද මට පෙනෙන්න නැහැ. ඔවුන් අද මේ ලෝකෙත් නෑ. සමහර ගෙවල් වහපු විදිහට ඒ විදිහටම තියෙනවා. මොකද පවුල් පිටින්ම මියගිහින්. ඒ දුක වේදනාව අපේ හදවත්වලින් ඈත් වෙන්නේ නැහැ. සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා.

මට මෙතැනදි බෞද්ධ ජනතාවගෙ හැසිරීම හරහා, සහෝදරත්වය හරහා මම ඒක දැක්කා.. මම හිතනවා මේ සිද්ධියෙදි පල්ලි ඇතුළෙ ඉඳලා මැරුණු කිසිම කෙනෙක්ට දුක් වෙන්න දෙයක් නැහැ. ඔවුන් එක පයින්ම ස්වර්ගයේ. ඒ අය මේ ජීවිතේ අරගෙන ඒ විදිහටම ස්වර්ගයට ගියා හා සමානවයි මම දකින්නේ. ඒ සිද්ධිය හරහා ඔවුන් අපට දීපු පණිවුඩය ජාති ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව අපට එකතුවෙන්න කියන එකයි.

අපි මෙය සුබවාදීව ගනිමු. මේ මොහොතේ මේ රටේ බෞද්ධයාගේ හැසිරීම ඇත්තෙන්ම මට හිතාගන්නත් බැරි තරම්. මේ වෙලාවේ කාදිනල්තුමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා මේක ඉවසීමෙන් දරාගන්න කියලා. එය අහලා මිනිස්සු ඒ විනීත බව, ඉවසීම රැකගත්තා. පල්ලියට යන එන, කතෝලික පවුල් පරිසරයක් තියෙන උදවිය විතරක් නෙමෙයි, මේ රටේ බහුතර අයිතිවාසිකම තියෙන, මහ ජාතිය වන, සිංහල බෞද්ධයාත් කාදිනල්තුමාගේ ඒ වචනයට අවනත වුණා. ඒ දක්වපු ගෞරවය මගේ හදවතේ සදා රැඳෙනවා.

You might like